Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: හිසකෙස් ඩයි කරන්නේ බලාගෙනයි!

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

හිසකෙස් ඩයි කරන්නේ බලාගෙනයි!

rash

මාරාන්තික වියහැකි
ඩයි වර්ග ඇතුළු
රූපලාවන්‍ය
ආලේපනවල
සැබෑ තත්ත්වය මෙන්න

යම්තමින් දැනුම් තේරුම් ඇති සන්ධියේ පටන් ගැහැනු පිරිමි භේදයක් නැතිව  අපි සියලු දෙනාම පාහේ ලස්සනට ඉන්නට  කැමතිය. තමන් ලස්සන යැයි තවත් අයෙකුගේ මුවෙන් අසන්නට අප කවුරුත් කැමති බව අසත්‍යයක් නොවේ. ඒ හේතුව නිසාම තමන්ගේ රුව රැකගන්නට බොහෝ දෙනා බොහෝ දේ කරන අවස්ථාද බහුලය. විශේෂයෙන්ම එහි මුල් තැන ගන්නේ අපේ කාන්තාවන්ය.

ප්‍රියමනාපව සිටීමටත්, තමන්ගේ රුව රැක ගැනීමටත්, ඔවුහු විවිධ දේ කරති. ඒ සඳහා අද වන විට වෙළෙඳපළේ ඇති රුව වඩවන විවිධ ආ‍ලේපන වර්ගද බොහෝය. එහෙත් එම ආ‍ලේපන මිල දී ගැනීමට පෙර තවත් කිහිප වතාවක්  ඒ පිළිබඳව සිතන්නට අප ‍පොළඹවන බිහිසුණු කාරණයක් පිළිබඳව ඉකුත් දා අසන්නට ලැබිණි. ඒ, හිසකෙස් කළු කිරීමට ගන්නා ඩයි වර්ගයක, කල් ඉකුත් වූ පැකට්ටු ලක්ෂයකට අධික තොගයක්, මෙරට ප්‍රධාන පෙළේ වෙළෙඳ නාමයක් යටතේ ව්‍යාජව අසුරා වෙළෙඳපළට එවීමට සූදානම් කර තිබිය දී පාරිභෝගික අධිකාරිය විසින් සොයා ගැනීමේ පුවතයි.



සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ගබඩාවක කරන ලද වැටලීමක දී මෙම තොගය අත්අඩංගුවට ගෙන තිබුණි. මේත් සමගම කල් ඉකුත් වූ තොල් ආ‍ලේපන පහළොස් දහසක්, ක්‍රීම් වර්ග දහසක්, ශරීර ආ‍ලේපන, ක්ලෝන් හා සුවඳ විලවුන් එක්දහස් පන්සියයක් ද සොයා ගැණිනි.

අත්අඩංගුවට ගත් රූපලාවන්‍ය ආ‍ලේපන ද්‍රව්‍ය පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පරීක්ෂා කරන අයුරු.


මෙලෙස මෙකී වෙළෙඳ නාමය යටතේ ව්‍යාජව සාදන ලද ඩයි වර්ගය වෙළෙඳපළ තුළ  අලෙවි වන බවට පරිභෝගික අධිකාරියට පැමිණිලි ලැබි තිබුණේ මීට වසරකට පමණ පෙරය. ඒ අදාළ වෙළෙඳ නාමය හිමි සමාගමේ ශ්‍රී ලංකා නියෝජිතායතනයෙනි. ඒ ඔස්සේ විවිධ ප්‍රදේශවල වැටලීම් කළ ද මේ නිලධාරීන්ට සොයා ගැනීමට හැකි වී තිබෙන්නේ මෙම ව්‍යාජ ඩයි වර්ගය අලෙවි කරන සිල්ලර වෙළෙන්දන් පමණි. එහෙත් ඉන් නොනැවතුණ වැටලීම් නිලධාරීන් ගාල්ල, ගම්පහ, මහනුවර ආදී විවිධ ප්‍රදේශවල මීට අදාළ වැටලීම් දිගින් දිගටම ක්‍රියාත්මක කර තිබිණි. මෙම ජාවාරම පිටුපස සිටින මහා පරිමාණ ජාවාරම්කරුවා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී සොයා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබි ඇත්තේ ඒ අනුවය.

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පෙන්වා දෙන පරිදි, මෙලෙස, ප්‍රසිද්ධ වෙනත් වෙළෙඳ නාමයන් යටතේ, ව්‍යාජ වර්ග ලෙස වෙළෙඳපළට එන්නේ රූපලාවන්‍ය භාණ්ඩ පමණක් නොවේ. මීට වසර කිහිපයකට ඉහත දී ඉතා ප්‍රසිද්ධ චීස් වර්ගයක වෙළෙඳ නාමය යටතේ ව්‍යාජව සැකසූ බාල ප්‍රමිතියෙන් යුතු චීස් වර්ගයක් ද වෙළෙඳපළට නිකුත් කර ඇත. මේ කාරණය හෙළි වී ඇත්තේ, අදාළ චීස් වර්ගය ආහාරයට ගත් දරුවන් රැසක් විවිධ රෝගී තත්ත්වයන්ට පත්වීමත් සමග මේ පිළිබඳ කරන ලද සොයා බැලීමකිනි. අද වන විට අදාළ චීස් වර්ගය වෙළෙඳපළට පැමිණීම නතර වී ඇතත්, මෙවැනි සිදුවීම් සිදුවීමේ අවධානම මුළුමනින්ම තවමත් අප සමාජය තුළ හොල්මන් කරන බව වැටලීම් නිලධාරීහු පෙන්වා දෙති.

මෙවැනි තත්ත්වයක් අද වෙළෙඳපළේ පවතින ඕනෑම පාරිභෝගික භාණ්ඩයක් සම්බන්ධයෙන් ඇති වීමට ඇති ඉඩකඩ බොහෝය. විශේෂයෙන්ම උත්සව කාලය තුළ වෙළෙඳපළෙහි වැඩිම ඉල්ලුමක් සහිත භාණ්ඩයට සමාන අනුකරණයක් වෙළෙඳපළට එවා වැඩි ලාභයක් උපයන්නට කූට ව්‍යාපාරිකයෝ  මාන බලති. වැටලීම් නිලධාරීන් පෙන්වා දෙන්නේ මෙය එක් අයෙකුගේ හෝ දෙදෙනෙකුගේ වැඩක් පමණක් නොවන බවය. ඊට හවුල්කාරකම් සපයන ජාවාරම්කරුවෝ බොහෝය. ඔවුන් පවසන්නේ ඇතැම් විට පසුගියදා හසු වූ රූපලාවන්‍ය ද්‍රව්‍ය ජාවාරමේද මහමොළකරු තවමත් තමන්ට හසු නොවී සිටින්නට හැකි බවකි. ඔවුන් මේ දිනවල වෙහෙසෙන්නේ එහි අක්මුල් සොයා යෑමටය.

කෙසේ වෙතත්, මෙමඟින් වන හානිය රූපලාවන්‍ය ද්‍රව්‍යවලට හෝ චීස්වලට පමණක් සීමා වූවක් නොවේ. මෙය වෙළෙඳපළ තුළ තිබෙන ඕනෑම සැබෑ නිෂ්පාදනයකට  බරපතළ තර්ජනයකි. මෙවැන්නක් ක්‍රියාත්මක කරන්නාගේ මූලික පරමාර්ථය වන්නේ තමන්ට හැකි තරම් ලාභ උපයා ගැනීම පමණි. එහෙත් එමගින් එකී වෙළෙඳ නාමයන්ට අදාළ මව් සමාගම්වල කීර්ති නාමයට එල්ල වන අහිතකර බලපෑම සුළුපටු නොවේ.

එමෙන්ම මෙමගින් පාරිභෝගිකයා පත්වන අනතුරුදායක තත්ත්වයද කිසිසේත් අවතක්සේරු කළ නොහැකිය. මෙවැනි ප්‍රමිතියකින් තොර සහ කල් ඉකුත්වූ රූපලාවන්‍ය ආ‍ලේපන ශරීරයේ ආ‍ලේපනය කිරීම මගින්  සෞඛ්‍යයට එල්ල කරන බලපෑම ද ඉතාම බරපතළය. ඇතැම් විට මෙම ද්‍රව්‍ය විෂ වීමෙන් මරණය පවා සිදු විය හැකි බව අප අමතක කළ යුතු නොවේ.

රූපලාවන්‍ය කටයුතු සඳහා යොදා ගන්නා සියලු ආ‍ලේපන වර්ග ගල්වන්නේ අපේ ශරීරයේය.  නිසි ප්‍රමිතියකට නැති මෙවැනි ආ‍ලේපන ශරීරයේ ගැල්වීම තුළින් ඒවායේ පවතින විස රසායනික ද්‍රව්‍ය ශරීරයට අවශෝෂණය වන බව ජාතික ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා පෙන්වා දෙයි.

"ඕනෑම රූපලාවන්‍ය ආ‍ලේපනයක යම් යම් රසායනිකයන් යම් යම් මට්ටම්වලින් තිබිය හැකියි. එහෙත් ඒවා නුසුදුසු ආකාරයෙන් අන්තර්ගත වීම ශරීරයට ඉතාම අහිතකරයි." වෛද්‍යවරයා සඳහන් කරයි.

ඔහු පවසන පරිදි, ඊයම්, රසදිය ආදී ලෝහ ශරීරයට අවශෝෂණය වුවහොත්, එමඟින් අපගේ වකුගඩු, අක්මාව, මොළය සහ ස්නායු පද්ධතිය යන අවයවවලට ඉතා අහිතකර බලපෑම් එල්ල විය හැකිය. එය සුළුවෙන් තැකිය හැකි කාරණයක් නොවේ. රූපලාවන්‍ය කටයුත්තක් සඳහා රූපලාවන්‍යාගාරයකට ගිය ජා-ඇල ප්‍රදේශයේ කාන්තාවක් ඇයට ගැල්වූ යම් රූපලාවන්‍ය ආ‍ලේපනයක් නිසා හට ගත් ආසාත්මිකතාවක් හේතුවෙන් රූපලාවන්‍යාගාරය තුළදීම මරණයට පත් වූ පුවත ඔබට තවමත් මතක ඇතුවාට සැක නැත. මෙය සරල කොට දැක්විය නොහැකි යැයි පවසන්නේ එබැවිනි.

වෛද්‍ය බෙනරගම මහතා පවසන්නේ, එවැනි ආසාත්මිකතාවන්, ආ‍ලේපන වර්ගයේ බාල තත්ත්වය නිසා මෙන් ම එක් එක් අයගේ සමෙහි ස්වභාවය අනුව ද ඇති විය හැකි බවයි. එහෙත් එක් එක් අයගේ තත්ත්වයන්ට අනුව එමගින් ආසාත්මිකතාවන් ඇති විය හැකි නම්, ඒ බව දැනුම්වත් කිරීමේ සටහන් සියලු ආ‍ලේපන ඇසුරුම්වල සටහන් කිරීම අනිවාර්ය බව ඔහු පෙන්වා දෙයි.

රූපලාවන්‍ය ආ‍ලේපන සියල්ල නියාමනය කිරීමේ වගකීම ඇත්තේ ද ජාතික ඖෂධ අධිකාරියටයි. මෙරට භාවිත කරන ඕනෑම ශරීරා‍ලේපනයක් සඳහා ලියාපදිංචිය ලබා දෙන්නේ එහි විලවුන් තාක්ෂණික ඇගයීම් කමිටුව මඟිනි. ඖෂධවේදය පිළිබඳ මහාචාර්යවරුන්, රස පරීක්ෂක නිලධාරීන්, ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ නිලධාරීන් සහ ඖෂධ අධිකාරියේ නිලධාරීන්ගෙන් මෙම කමිටුව සමන්විතය. ආසනික්, ඊයම්, රසදිය, කැඩ්මියම් වැනි බැරලෝහ මෙම ආ‍ලේපනවල අඩංගු වන්නේ ද, ඒ කෙතරම් ප්‍රමාණයකින් ද යන්න පිළිබඳව මෙම කමිටුව  සොයා බලයි.

වෛද්‍ය බෙනරගම පෙන්වා දෙන්නේ, විවිධ ශරීරා‍ලේපන වර්ග අපි හරිහරියට ආ‍ලේප කරන්නේ වුව ද ඒවා ශරීරයට ඉතාම අහිතකර බවය. මේ තත්ත්වය මත ඉහත කී ආකාරයේ කල් ඉකුත් වූ, ප්‍රමිතියෙන් තොර ආ‍ලේපන නිසා සිදු විය හැකි හානියේ තරම ගැන අමුතුවෙන් කිව යුතු නොවේ.


යම් යම් රසායනිකයන් ශරීරා‍ලේපනවල අඩංගු විය යුත්තේ කොපමණ ප්‍රමාණයකින් පමණක් ද යන්න නිර්දේශ කෙරෙන ගැසට් නිවේදනයක් ද ඖෂධ අධිකාරිය විසින් ළඟදීම නිකුත්  කිරීමට සූදානම්ය. එමෙන්ම රූපලාවන්‍ය ක්‍ෂේත්‍රයේ වෘත්තිකයෙකු ලවා ආ‍ලේප කර ගත යුතු ආ‍ලේපන සහ තමන්ට තනිව ආ‍ලේප කර ගත හැකි ආ‍ලේපන ලෙස මෙම ශරීරා‍ලේපන වර්ගීකරණයකට ලක් කිරීමට ද ජාතික ඖෂධ අධිකාරිය කටයුතු යොදමින් සිටියි.

කෙසේ වෙතත්, ප්‍රමිතියෙන් බාල හෝ කල් ඉකුත් වූ ශරීරා‍ලේපන වෙළෙඳපළ තුළට පැමිණීම වැළැක්වීම නීතියට පමණක් කළ හැක්කක් නොවන බව පාරිභෝගික අධිකාරියේ නිලධාරීහු පෙන්වා දෙති. මෙහිදී මේ පිළිබඳව වඩාත් අවධානයෙන් කටයුතු කළ යුත්තේ, මේවා තම වෙළෙඳසැල තුළට ලබා ගන්නා සිල්ලර වෙළෙඳුන්ය. තමන් අලෙවි කරන භාණ්ඩ මිලදී ගන්නේ අදාළ සමාගමේ බලයලත් නියෝජිතයෙකුගෙන්  පමණක් ද යන්න පිළිබඳව වඩා විමසිලිමත් වීම මෙහිලා ඉතාම වැදගත්ය.

ඒ සඳහා ඔවුන් සතුව අදාළ ලියාපදිංචි සහතිකය ඇත් ද යන්න සොයා බැලිය හැකි බව වෛද්‍ය බෙනරගම මහතා පවසයි. එමෙන්ම මෙරට ලියාපදිංචි, ප්‍රමිතියෙන් යුතු ශරීරා‍ලේපන මොනවාද යන්න පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ ද ඕනෑම කෙනෙකුට  විමසා බැලිය හැකිය.

අනෙක් අතට කිසියම් භාණ්ඩයක් යම් අලෙවි නියෝජිතයකු අසාමාන්‍ය ලෙස අඩු මිලට ලබා දෙන්නේ නම් ඒ පිළිබඳව සිල්ලර වෙළෙන්දාත්, පාරිභෝගිකයාත් යන දෙදෙනාම විමසිල්ලෙන් කල්පනා කළ යුතුය. මේ ආකාරයෙන් අඩු මිලට දෙන බොහෝ භාණ්ඩ කල් ඉකුත් වූ හෝ නිසි ප්‍රමිතියෙන් තොර, මාරාන්තික ප්‍රතිඵල ඇති කළ හැකි ව්‍යාජ නිෂ්පාදන විය හැකි බැවිනි.

එමෙන්ම මිනිස් ජීවිත බිල්ලට ගනිමින් මෙවැනි කූඨ ජාවාරම්වල නිරත වන්නන් සඳහා පවතින නීතිය ද දැඩිව ක්‍රියාත්මක කිරීමට කාලය එළැඹ ඇත. පාරිභෝගික කටයුතු පිළිබඳ පනතට අනුව මෙවැනි කූඨ වෙළෙන්ඳන් අත්අඩංගුවට ගෙන දඩ නියම කිරීමට පමණක් නොව ඔවුන්ට සිර දඬුවම් නියම කිරීමට ද අවශ්‍ය නීති ප්‍රතිපාදන සකසා තිබේ. පනතේ 60 වෙනි වගන්තිය ඊට සාක්ෂි දරයි. එබැවින් මෙකී නීති ප්‍රතිපාදන සියල්ල දැඩිව භාවිතයට ගැනීම සම්බන්ධයෙන් සිතා බැලීමට අදාළ බලධාරීන් සියලු දෙනාට කාලය එළැඹී ඇති බව ඉතා පැහැදිලිය.

-ගයාත්‍රි ගීගනආරච්චි-
 
Gossip Lanka News


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya