Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: දරුවන් වෙනුවෙන් ගණිකාවක් වුණු ගැහැණියක්

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

දරුවන් වෙනුවෙන් ගණිකාවක් වුණු ගැහැණියක්

rash

මසකට
ලක්ෂයකටත්
වඩා මුදල් 
වැයකොට 
කුඩු උරයි.....

තම දියණියත් පුතුත් සැමියාට භාර කොට රෝහිණී මැදපෙරදිග  ගෘහ සේවයට ගියේ දරුවන් දුක් විඳිනු තවත් බලා ඉන්නට බැරිම තැනය. රෝහිණීගේ සැමියාට හරිහමං ආදායමක්  නොතිබිම මේ ව්‍යසන හැම එකකටම මුල විය. එහෙත් රෝහිණීට මැදපෙරදිග රැකියාව  කරන්නට ලැබුණේ වසරකුත් මාස දෙකක් වැනි කාලයක් පමණි. ඒ වන විට තුන් හැවිරිදිව සිටි ඇගේ බාල පුතු නිතර නිතර අසනීප වන බව පවසා ඇයට ලංකාවට එන්නැයි  සැමියා බල කිරීම එයට හේතුව විය. අන්තිමේ තමා උපයාගත් මුදලින්ම ටිකට්පත සාදාගෙන රෝහිණීට ලංකාවට එන්නට සිදු විණි.

රෝහිණීගේ දරුවාට තිබුණේ  ඇදුම රෝගයයි. දරුවා ළමා රෝහ‍ලේ නතර කරගෙන සෑහෙන කලක් ප්‍රතිකාර ලබා දී නැවත ඇය දරුවාත්  රැගෙන පැමිණියේ තඹ දොයිතුවක් නැති ගෙදරකටය. දැන් නැවත ඇයට මැදපෙරදිග රැකියාවට යාමටත් බැරිය. ඒ අසනීපෙන් පෙළෙන කුඩා පුතු තනි කර යාමට නොහැකි බැවිනි.



අසරණව, මොනවා කරන්නදැයි කල්පනා කරමින්  මහ පාරේ ඇවිද ගිය රෝහිණී අන්තිමේ නතර වුණේ හෝටලයක ය. එය හෝටලයක් කියා පිටතින්  හැඳින්වූවාට ඇතුළතින් එය හෝටලයක් නොව ගණිකා නිවාසයකි.

ජීවත් වන්නට කළ හැකි වෙන කිසිවක් ගැන සිතාගන්නට නොහැකි වූ කල ඇය දරුවන් තම මවට භාරකොට ගණිකා වෘත්තියෙහි  යෙදුනේ එයින් ලැබෙන මුදලින් දරුවන්ට කන්න බොන්න දෙන්නට ය. මෙලෙස තමන් ඇසුරට එන පුද්ගලයන්  නිසා බොහෝ  ගණිකාවෝ දුම්පානයට සහ මත්පැන් භාවිතයටද හුරු වෙති. රෝහිණීට වුණෙත්  එයමය.



"සිගරට් එහෙම බොන්නෙ නැද්ද...?" කියමින් එක් තරුණයකු දුන් සිගරැට්ටුවක් නිසා ඇය දුම්පානයට හුරු වූවාය. "අරක්කු ටිකක් ගන්නැයි" තවත් ගනුදෙනුකරුවකු කී අවස්ථාවක ඇය ඊටත් එකඟ වුණාය.
රෝහිණී මේ රැකියාවෙන් යහමින්  මුදල් උපයා තිබිණි. අවසානයේ ඇය හෙරොයින්වලට හුරු වූයේ ඒ වන විට ඇය සිටි නවාතැනේ සෙසු ගණිකාවන්ද ඊට හුරු වී සිටි නිසාය.

පළමුවෙනි දවසේ ඔවුන් එය ඇයට දුන්නේ "උගුරක් බිලා බලපං.... " කියමිනි. සිතට දැනුණු මොකක් දෝ  අමුතු සතුට නිසාම රෝහිණී දෙවෙනි දවසේත් එය ගත්තාය. අන්තිමට සතියක් දෙකක්  යනවිට රෝහිණීට තම ශරීරයේ දැඩි කෙඩෙත්තු ගතියක් දැනෙන්නට විය. ඒ ශාරීරික අපහසුතාව මගහරින්නට ඇයට සුදුසුම ඔසුව ලෙස දැනුණේ මත්කුඩුය. ඒ අපහසුව මගහැරුණේ මත්කුඩු ටිකක් ඉරුවාට පසුව පමණි.

දැන් රෝහිණීගේ දෙදරුවන් විවාහකය. එහෙත් වසර විස්සකට ආසන්න කාලයක් තිස්සේ උරණ  මත්කුඩුවලින් ඇයට ඈත් වන්නට නොහැකි වී ඇත. ඔය මළ ජරාව බිලා අපට ලැජ්ජ කරන්න ලෑස්ති වෙන්න එපා. ඕක නතර කරනව නම් බාර ගන්නම් දරුවෝ ඇයට නීති රීති දමති. එහෙත් රෝහිණීට මින් ගැලවීමට සිතක් නැත.

"මට උඹල ගාවට එන්න ඕන නෑ...... ආවත් මං මේක නවත්තන්නෙත් නෑ......" ඒ ඇගේ පිළිතුරයි. තම මත්කුඩු භාවිතය ගැන රෝහිණී කියන්නේ මෙලෙසය.

"කුඩු ගැහුවම පුදුම සනීපයක් දැනෙනවා. ඒත් පැය දෙක තුනක්  යනකොට ඒ සනීපෙ වගේ දෙතුන්  ගුණයකටත් වැඩි පුදුම අමාරුවක් දැනෙන්න පටන් ගන්නවා. ඒ අමාරුව යන්න නම් ආයෙත් කුඩු බොන්නම ඕනෙ. එහෙම නැත්තම් ඒ දැනෙන අමාරුව ඉවසන්න බැහැ......."

රෝහිණී පවසන අන්දමට ඇයට මේ අයුරින්  දිනකට හෙරොයින්  පැකට් තුන හතරක්වත් ඕනෑ වෙයි.  ඒ එක  කුඩු පැකට්ටුවක මිල රුපියල් දහසකි. ඒ අනුව ඇය මත්කුඩු සඳහා දිනකට වැය කරන මුදල රුපියල් තුන් දහසක්, හාර දහසක් පමණ වෙයි. මාසයකට යන වියදම රුපියල් ලක්ෂයකට ආසන්නය. රාත්‍රී කාලයට ගණිකා වෘත්තියේ යෙදී මුදල්  උපයන රෝහිණී දිවා කාලයේ ඒ මුදල් වියදම් කරන්නේ මත්කුඩු භාවිතයටයි.

ඒ හැර කෑමක් බිමක්  ගැන හෝ වෙනත්  වුවමනා  එපාකමක්  ගැන ඇයට වැඩි හැඟීමක් නැත. මත්ද්‍රව්‍ය ගැනීමේ දී සිදුවන මේ තත්ත්වය ගැන අප විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්  මහතාගෙන්ද කරුණු විමසුවෙමු.

ඒ මෙම සමාජ ඛේදවාචකයේ සැබෑ දුඃඛිත බව ගැන වඩාත් පැහැදිලි චිත්‍රයක් ලබා ගන්නටය.

අපට සතුට දැනෙන්නේ අපේ මොළයේ  එන්ඩොෆින් වැනි රසායනික ද්‍රව්‍ය ක්‍රියාත්මක වූ විටයි. අප ප්‍රිය කරන පුද්ගලයකු දුටුවත් , කැමති ආහාරයක් ගත්තත් මේ ඕනෑම දෙයකදී එම රසායනික ද්‍රව්‍යය ස්වභාවික ලෙස ක්‍රියාත්මක වී අපට සතුට දනවනවා.

මත්කුඩු නිසාත් මේ ආකාරයට මෙම රසායනිකය ක්‍රියාත්මක වී සතුටක් දැනෙන නමුත් එහි  ඇති භයානක තත්ත්වය වන්නේ සතුට ලබා ගැනීම සඳහා ගත යුතු  මත්කුඩු ප්‍රමාණය දිනෙන් දිනම වැඩි කරන්නට සිදු වීමයි. ඒ අනුව මුල් දවසේ ගත් ප්‍රමාණය දවෛනි දවසේ ගත් විට මුලින් ලැබූ සතුට දැනෙන්නේ නෑ. ඒ නිසා එය ගත යුතු ප්‍රමාණය එන්න එන්නම වැඩි කරන්නට සිදුවෙනවා. මේ අනුව ඒ පුද්ගලයාට මත්කුඩු  නැතිවම බැරි වෙන තත්ත්වයට පත් වෙනවා වෛද්‍ය රූමි රූබන් මහතා විස්තර කළේය.

මෙසේ ඇබ්බැහි වීම වැඩි වන විට අදාළ පුද්ගලයා මත්ද්‍රව්‍ය ගන්නේ පෙර  ලැබූ ආශ්වාදය විඳින්නට  නොවේ. මේ තත්ත්වයට එන විට සතුට ආශ්වාදය වෙනුවට දැනෙන්නේ එය නොලැබිම  නිසා ඇති වන අධික ශාරීරික අපහසුතාවන් ය. තදබල කායික වේදනාව,  වමනය වැනි දෑ මේ අතරින් ප්‍රධාන බව ඔහු පවසයි.

ඉන්පසු ඔවුන්ගේ සතුට ලබා ගැනීම සඳහා වන අනෙක් සියලුම ක්‍රම  අඩපණ වේ. මත්කුඩු  මතම යැපෙන  තත්ත්වයට පත්වන ඔවුන්  සියලු සමාජ  සම්බන්ධතා, විනෝදාංශ, කෑම බිම ආදී සියල්ල අමතක කර මෙයම සිය ජීවිතයේ  එකම අරමුණ කරගනී. මත්කුඩු මිල අධික නිසා ඒවා මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට මතෛක් නොකළ ඕනෑම පහත් ක්‍රියාවකට වුව මේ අය පෙළඹිය හැකිය.

වයස අවුරුදු දහනවයක්  වූ පාසල් සිසුවකු වරක් ඔහුගේ  දෙමාපියන් විසින් මනෝ වෛද්‍ය සායනයකට කැඳවා ගෙන විත්  තිබිණි. ඔහු කලින්  ඉතා උනන්දුවෙන්  අධ්‍යාපන  කටයුතු කළ අතර පසුව නිතර හුදෙකලාව  සිටින්නටත් , කාමරයටම වී සිටින්නටත් පෙළඹී තිබිණි. ඔහු මුලදී  රූපවාහිනිය නැරඹීමට පුරුදුව සිටියත්  ඒ සඳහා  තිබූ උනන්දුවද නැත්තටම නැතිවී ගියේය. අඩුම තරමින් ඔහු තම පරිගණකය ක්‍රියාත්මක කරන්නටවත් කිසිදු අයුරකින්  යොමු වී තිබුණේ නැත.

මේ වෙනසට හේතු සොයා බැලීමේ දී අනාවරණය වූයේ  මේ යෞවනයා මත්කුඩුවලට ඇබ්බැහි වී ඇති බවයි. ඒ සඳහා ඔහුට මිතුරන්  කණ්ඩායමක් සිටින බවද දැන ගන්නට ලැබිණි.  මව්පියන්ගේ  හිස ගිනි ගත්තේ තම පුතු ටියුෂන් පන්තිවලට මාස්පතා මුදල් ඉල්ලාගත්තත් මාස ගණනකින් ටියුෂන්  පන්තියකට  පය තබාවත් නැති  බව දැන ගන්නා විටය.

අන්තිමේ  ඔහුට සෑහෙන කලක් මනෝ වෛද්‍ය  ප්‍රතිකාර  ලබා දෙන්නට සිදුවිය. තවත් තරුණයකු මනෝ  වෛද්‍යවරයකු  වෙත පැමිණියේ  තම රූමත් පෙම්වතියද සමගය. සාමාන්‍යයෙන්  මෙහිදී ඕනෑම  කෙනකුට සිතෙන්නේ පෙම්වතා මත්කුඩු ගන්නා නිසා පෙම්වතිය  ඔහු මනෝ වෛද්‍යවරයා වෙත කැටුව  එන්නට ඇති බවය. නමුත් මෙහිදී සිදුව තිබුණේ  එහි අනෙක් පැත්තය. මත්කුඩුවලට ඇබ්බැහි වී සිටියේ එම රූමත් තරුණියයි.

"මෙයා මාත් එක්ක සම්බන්ධයක් ඇති කර ගන්න කැමතියි කියන කොටම මං මෙයාට කිව්වා මං කුඩු ගහනවා , ඩ්‍රින්ක්ස් ගන්නවා,  නයිට් ක්ලබ් යනවා කියලා. එයා ඒවා එකකටවත් අකමැති වුණේ නෑ. දැන් මාත්  එක්ක යාළු වුණාට පස්සේ කියනව මට ඒ සේරම  අත්අරින්නලු. මං කිව්වා මට ඒවා අත අරින්න බෑ.... ඔයාට ඕන නම්  මාව අත අරින්න, කියලා. ඒත් මෙයා ඒකට කැමති නෑ......"
 පෙම්වතිය මනෝ වෛද්‍යවරයා ඉදිරියේ කීවේ ඔවැනි කතාවකි.

"මට මෙයාව අමතක කරන්න බෑ ඩොක්ටර්. මං මෙයාට හරි ආදරෙයි. කොහොම හරි මෙයාගෙ මේ පුරුදු නවත්තල දෙන්න."
  තරුණයා බැගෑපත් වන්නට විය.

මේවාට ඇබ්බැහි වූ අයකු  තමන් සතු ඕනෑම දෙයක් මේ වෙනුවෙන් කැප කරන්නට සූදානම්ය. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකුට එය දිගින් දිගටම ගැනීමට නොහැකි වූ විට විවිධාකාර  ශාරීරික අපහසුතා ඇතිවෙයි.  මුළු ශරීරයේම දැනෙන දරාගත නොහැකි තදබල වේදනාව, මාංශපේශී තද වීම, අධික හිසරදය, වමනය, මල පිටවන වාර ගණන වැඩිවීම.


දියර ලෙසින් මලපහ වීම, කඳුළු සහ සොටු දියර වැගිරීම, තමාට තමාවම පාලනය කර ගත නොහැකි කලබල ගතිය මේ අපහසුතා අතර ප්‍රධාන වෙයි.  එනිසා මෙම වේදනාව නැති කර ගැනීමට  මත්ද්‍රව්‍ය සොයා යාමට මෙන්ම ඇතැම් විට  ජීවිතය නැති කර ගැනීමට වුවද මොවුන් පෙළඹිය හැකිය.

කෙසේ හෝ මත්ද්‍රව්‍ය ගැනීම නතර කර සිටියත්, නැවත ඒවා විකුණන අය හමු වූ විට යළිත් ඒවා ගන්නට පෙළඹෙනු  සේම, මේවා  අලෙවි කරන්නන්ද තම ගනුදෙනුකරුවන් මෙයින් ඉවත් වූ විට තමන්ට  සිදුවන පාඩුව  පිළිබඳව සලකා වරක් දෙකක් නොමි‍ලේ ඔවුන්ට මත්කුඩු ලබා දී  නැවත ඔවුන් මේ සඳහා ‍පොළඹවා ගැනීමද සිදුවේ

මත්ද්‍රව්‍ය නිසා සෘජුවම  ශාරීරික ආබාධ ඇති නොවේ. නමුත් වෙනත් කායික රෝග හට ගත් විට ඒ පිළිබඳව නොසලකා  හිඳීම මත නියුමෝනියාව  ආදී වූ වෙනත් ආසාදන නිසා මිය යාමට තිබෙන හැකියාව  වැඩිය.  මත්කුඩු ශ්වසන මාර්ගයෙන් (ඉරීමෙන්) ගන්නා අය සේම ඉන්ජෙක්ෂන් කටු මාර්ගයෙන්  ගන්නා අයද සිටිති. මෙසේ ඉන්ජෙක්ෂන් කටු මාර්ගයෙන් ගන්නේ බොහෝ විට කණ්ඩායමක් වශයෙන් නිසා ඒඩ්ස්  මෙන්ම හෙපටයිටීස් බි වැනි රෝග බෝ වීමට තිබෙන අවදානම  වැඩි බවද  සැලකිය යුතුය.

අප මෙම ලිපියෙහි අඩංගු මෙම කරුණු ඉදිරිපත් කළේ දිනෙන් දින බිහිසුණු බූවල්ලකු මෙන් තරුණ පරපුර ඇතුළු ජන සමාජය බිල්ලට ගනිමින් පැතිරෙන මත් උවදුරෙන් සියලු දෙනා ගලවා ගැනීම අද යුගයේ වැදගත්ම සමාජ කාර්යයක් බවට පත්ව ඇති නිසාය. මත්ද්‍රව්‍ය ජාවාරමට දේශපාලන අනුග්‍රහය පවා ලැබෙන බවට එල්ල වන චෝදනා විසින් අපට පෙන්වා දෙනු ලබන්නේ අප මුහුණ දී සිටින තත්ත්වයේ බරපතළකම විනා අන් කවරක්ද?

-ඉන්දු පෙරේරා- 


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya